අල්ලාහ්ගෙන් පමණක් ප‍්‍රාර්ථනා කරමු!

.

අල්ලාහ්ගෙන් පමණක් ප‍්‍රාර්ථනා කරමු!


මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි. සියළු ප‍්‍රශංසාවන් විශ්වයාධිපති අල්ලාහ්ටම හිමිවේ. ඔහුගේ කරුණාව හා දයාව නබි (සල්) තුමන්ට හා එතුමන්ගේ ඥාතීන්ටද, මිත‍්‍රයින්ටද හිමිවේවා!
ශුද්ධවූ අල් කුර්ආනයෙහි මිනිසා මවනු ලැබීමේ පරමාර්ථය පැහැදිළිව සඳහන් වේ. “මා මිනිස් හා ජින් වර්ගය මාහට වැඳුම් පිඳුම් කිරීමට මිස නිර්මාණය නොකළෙමි” (ශු අල්කුර්ආනය 51: 56).
 මෙම පාඨයෙන් ප‍්‍රත්‍යක්‍ෂ වන ඉතා වැදගත් කාරණය නම්: මිනිසා තම ජීවිත කාලය පුරා අල්ලාහ්ට අවනතව ජීවත්වීමට බැඳී සිටි. තම ජීවිතයෙහි පැන නැගෙන හැම ගැටළුවකදීම අල්ලාහ්ගේ දිව්‍යමය හෙළි කිරීම වන ශුද්ධවූ අල්කුර්ආනයෙහි හා අවසන් ශාස්තෘවරයානන්ගේ මග පෙන්වීම ඔස්සේ විසඳුම් සෙවිය යුතුයි. ඉස්ලාම් වෙනත් සංකල්ප මෙන් නොව, මිනිසාගේ ජීවිතයෙහි හැම පැති කඩක් සඳහාම මග පෙන්වන දහමකි.
මිනිසා තම නිර්මාතෘවරයා සමග අඛණ්ඩව සම්බන්ධකම් පැවැත්වීම ඔහුගේ දෙලොව ජයග‍්‍රහණය සඳහාවූ ඒකායන මාර්ගය වේ.
ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ සඳහන්වෙයි:  “ඔබ මා සිහිපත් කරන්න, මා ඔබලා සිහිපත් කරමි” (ශු අල්කුර්ආනය 2: 152).
“මාගේ දාසයන් මා පිළිබඳ ඔබෙන් ප‍්‍රශ්න කළා නම්, මා ඔවුන්ට ඉතා සමීප බව පවසන්න. මා ප‍්‍රාර්ථනාකරන්නන්ගේ ප‍්‍රාර්ථනාවන් පිළිගනිමි. ඔවුන් මාගෙන් ප‍්‍රාර්ථනා කරත්වා, මා කෙරෙහි විශ්වාසය තබත්වා” (ශු අල්කුර්ආනය 2: 186).
 ඉස්ලාම් මුස්ලිමෙකුට ලබා දී ඇති මහඟු වරප‍්‍රසාදයක් නම් මෙම සකල විශ්වයෙහි නිර්මාතෘවරයා වන අල්ලාහ්ත් සමග සම්බන්ධවීමට කිසිදු තැරැව්කරුවෙකු හෝ අතර මැදියෙකු හෝ අවශ්‍ය නැත. සෘජුව සම්බන්ධ විය හැක. ඉහත සඳහන් කුර්ආන් පාඨයෙන් එය මොනවට සනාථ වෙයි.
 වෙනත් ස්ථානයක මෙසේ සඳහන් වෙයි: “ඔබගේ ස්වාමින් පවසයි: මාගෙන් ප‍්‍රාර්ථනා කරන්න, මා ඔබගේ ප‍්‍රාර්ථනාවන් පිළිගනිමි” (ශු අල්කුර්ආනය 40: 60)
 විශ්වයෙහි මැවුම් කරුවානන් අපේ ප‍්‍රාර්ථනාවන්ට සෑම මොහොතකම ඇහුම් කන් දෙන්නේ නම් එය ඔහුගේ අසීමිත කරුණාවට, අපරිමිත දයාළු භාවයට ඇති කදිම නිදසුනකි. නමුත් මෙය වටහා නොගත් බොහෝ අඥානයන් අල්ලාහ් ඉදිරියෙහි පමණක් කළ යුතු ප‍්‍රාර්ථානවන්, සොහොන් කොත්වලට ගොස් එහි මිහිදන් වී සිටින පුද්ගලයින් ඉදිරියේ කරන අඥාන කි‍්‍රයාව දකිමු. ප‍්‍රාණය ඇති මොවුන් අප‍්‍රාණික දෙයකින් පිහිට පැතීම මොවුන්ගේ සිහි බුද්ධිය උකසට තබාද මෙවැනි කි‍්‍රයාවන් කරන්නේ යැයි සැකයක් මතු වේ.
ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ සඳහන් වෙයි: “අල්ලාහ් හැර ඔබ ප‍්‍රාර්ථනා කරන දේ ඔබලාට පිහිටවීමට ශක්තියක් නොමැත. ඔවුන්, තමන්ට පවා පිහිටවීමට නොහැකි අය වේ”. (ශු අල්කුර්ආනය 7: 197).
මෙය ඉස්ලාම් දකින්නේ බලවත් වරදක් ලෙසය. අල්ලාහ් අභිමුව පමණක් කළ යුතු ප‍්‍රාර්ථනාවන් වෙනත් සොහොන් කොත් ඉදිරියේ හෝ වෙනත් වෙනත් දේ ඉදිරියේ හෝ කිරීම අල්ලාහ්ට පමණක් ඇති ගුණාංග, ශක්තිය ඔවුන්ටත් තිබෙන බව සැළකීමේ එක් ප‍්‍රතිඵලයකි. ඉස්ලාම් මෙය දකින්නේ බලවත් වරදක් සේය. තවත් මෙම වරද කරන සමහරුන් අපි සොහොන් කොත්හි මිහිදන්ව සිටින්නන්ව දේව බලය ලැබූ අය වශයෙන් සළකා නොවෙයි ඔවුන්ගෙන් ප‍්‍රාර්ථනා කරන්නේ, ඔවුන් අපි දකින්නේ අල්ලාහ් හා අප අතර සිටින තැරැව්කරුවන්, මැදිහත් කරුවන් වශයෙනි. ඔවුන්ගේ මෙම තර්කය නවතම සොයා ගැනීමක් නොවේ. මීට පෙර නොමග ගිය සමාජයන් මේ හා සමාන තර්කයන් ඉදිරිපත් කළෝය.
“අල්ලාහ් හැර ඔවුන්ට කිසිදු යහපතක් හෝ විපතක් කළ නොහැකි දේට පුද සත්කාර කරති. ඔවුන් අල්ලාහ් අභියස අපට රෙකමාදාරු කරයි යනුවෙනුත් පවසති. අහසෙහි හා පොළොවෙහි අල්ලාහ්ට නොදැනුවත් දේ ඔහුට කියා දෙන්නේද? ඔහු ඉතා පරිශුද්ධයි. ඔවුන් ආදේශයන් ඇති කරන දෙයින් ඔහු අති්‍යුත්කෘෂ්ඨයි. යනුවෙන් පවසන්න” (ශු අල්කුර්ආන් 10: 18).
“දැනගන්න පරිශුද්ධවූ මෙම දහම අල්ලාහ්ට අයිතිවේ. ඔහු හැර ආරක්‍ෂකයින් ඇති කරගත්තන් අල්ලාහ් අභියස අපව සමීපකරවයි යනු විනා අපි ඔවුන්ට වන්දනා මාන නොකරමු (යැයි ඔවුන් පවසති). ඔවුන් මත භේද වූ දේ පිළිබඳ අල්ලාහ් විනිශ්චය කරයි. (තමන්ව) ප‍්‍රතික්‍ෂේප කරන අසත්‍ය වන්තයාට අල්ලාහ්ට යහමග නොපෙන්වයි” (ශු අල්කුර්ආනය 39: 3).
 එම තීරණාත්මක අවසන් විනිශ්ච දිනයෙහිදි මෙලොවට පහළවූ උගත් ශාස්තෘවරුන් වේවා, වෙනත් කුමන තරාතිරමක සිටින කෙනෙකු වේවා හැමෝම අල්ලාහ්ගේ සමූහයට ‍දාසයන් වශයෙනුයි පැමිණිය යුත්තේ.
ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ සඳහන් කරයි: “අහස් ගැබෙහි හා මහ පොළොවෙහි පවතින සියල්ල අසීමිත දයාළුවන්තයා වෙත (එදින) දාසයන් වශයෙන් පැමිණෙති” (ශු අල්කුර්ආන් 19: 93).
අල්ලාහ් හැර ඔවුන් කන්නලව් කරන, ප‍්‍රාර්ථනා කරන දේ, සියළු අර්බුදවලින් ඔවුන්ව මුදවන බව සිහින මවති. එනමුත් මෙය සදාතනික නිරය සඳහා වූ පාපයක් බව ඔවුන් නොදැනුවත්ව සිටීද? නැතහොත් දැන දැනම උඩඟු ලෙස කි‍්‍රයා කරයිද?
අවසන් ශාස්තෘවරයානන් වරක් මෙසේ ප‍්‍රකාශ කළහ, “ප‍්‍රාර්ථනාව එයයි යාඥාව” (මූලාශ‍්‍රය: තිර්මිදි).
 යාඥාවන් සියල්ල අල්ලාහ් වෙනුවෙන් පමණක් කළ යුතුයි. මෙය සෑම මුස්ලිමෙකුම දැන සිටිති. මුස්ලිමෙකු නිරතුරුව ප‍්‍රකාශ කරන, හෘදයාංගම පිළිඅරන් ඇති “ලා ඉලාහ ඉල්ලල්ලාහ් ” යන පදයෙහි අර්ථය නිසි ලෙස වටහා ගත් මුස්ලිමෙකු මෙවැනි මහත් පාපී කි‍්‍රයාවන්හි නිරත නොවෙයි.
නබි (සල්) තුමන් වරක් මෙසේ ප‍්‍රකාශ කළහ: “කව්රුන් යම් දෙයක් පැතීම සඳහා අල්ලාහ් ඉදිරියේ තම දෑත් එසෙව්වේද, අල්ලාහ් එම දෑත් හිස්ව යැවීමට ලැජ්ජාවෙයි.” (මූලාශ‍්‍රය: සහීහුල් ජාමිඃ).
අල්ලාහ්ගේ අසීමිත දයාළු භාවය ප‍්‍රත්‍යක්‍ෂ කරන මෙම නබි වදන සෑම මුස්ලිමෙකුගේම අවධානයට ලක් විය යුතුය. අල්ලාහ්ගේ අසීමිති දයාළුභාවය සුළුවෙන් තක්සේරු කරනන්න්ට ශුද්ධවූ අල්කුර්ආනය මගින් ඔහු අනතුරු අඟවයි. “කව්රුන් අල්ලාහ්ගේ භාග්‍යන්හි විශ්වාස භංගත්වයෙන් පසුවෙයිද ඔහු නොමග ගියෙකු මිස නොමැත” (ශු අල්කුර්ආනය 15: 56).
“අල්ලාහ්ගේ භාග්‍යන්හි විශ්වාස භංගත්වයෙන් පසු නොවන්න. එසේ විශ්වාස භංගත්වයෙන් පසුවෙන්නන් මිත්‍යා දෘෂ්ටිකයින් මිස නොමැත” (ශු අල්කුර්ආනය 87: 12).
අල්ලාහ් හැර වෙනත් අය ඉදිරියෙහි ප‍්‍රාර්ථනා කරන්නන්, තම අවශ්‍යතාවන් ඉදිරිපත් කරන්නන් අල්ලාහ් අභිබවා ඔවුන් තමන්ට කරුණාව දක්වන බව ඔවුන්ගේ කි‍්‍රයාවෙන් ඔප්පු කරයි. මෙය තුළින් ඔහු මුස්ලිම් යන රාමුවෙන් පවා පිටවෙයි. ඉහත සඳහන් කුර්ආන් පාඨයන් එයට කදිම සාක්‍ෂියකි.
නබි (සල්) තුමන් වරක් කුඩා වියෙහි පසුවෙමින් සිටී ඉබ්නු අබ්බාස් (රලි) අමතා “ඔබ උදව් පැතුවේ නම් අල්ලාහ්ගෙන් පමණක් පතන්න” (බුහාරි).
 මුස්ලිමෙකු ඔහු ඉටු කරන සලාතයන්හි හැම රක්අතයක් පාසාම අල්ලාහ් ඉදිරියෙහි ගන්නා පොරොන්දුවක් නම් “ඉයියාක නඃබුදු වඉයියා නස්තඊන්” (අපි ඔබම නමදිමු ඔබගෙන්ම පිහිට පතමු). මුස්ලිමුන් අතුරින් බහුතරයක් ඉහත සඳහන් මෙම කුර්ආන් පාඨය අර්ථය වටහා නොගෙන පාරායනය කිරීම නිසා ඔවුන් දෙන පොරොන්දුව ඔවුන් විසින්ම කඩ කෙරේ. මුස්ලිමෙකු සියළු දේ අල්ලාහ්ගෙන්ම පැතිය යුතුයි. මුස්ලිමෙකු පතන සියළු දේ නියතයෙන්ම අල්ලාහ් විසින් ඉෂ්ට කර දෙනු ලැබේ. නමුත් කණගාටුවට පත්විය යුතු කරුණ නම් අල්ලාහ්ගෙන් පමණක් ප‍්‍රාර්ථනා කරන මුස්ලිමුන් පවා යම් දෙගිඩියාවකින් ප‍්‍රාර්ථනාවන්හි නියැලෙති. මෙයට හේතුව අල්ලාහ්ගේ බලය සුවිශේෂ ශක්තිය පිළිබඳ නිසි අවබෝධයක් මොවුන් තුළ නොවීමයි.
සකරියියා (අලෙයි) තුමන් තම මහළු වියෙහි කළ ප‍්‍රාර්ථනාවක් පිළිබඳ ශුද්ධවූ අල්කුර්ආනය විවිධ අවස්ථාවල සිහිපත් කරයි . “(ශාස්තෘවරයානනි!) මෙය ඔබ හිමියන් තම දාසයා වන සකරියියාට පිරිනැමු භාග්‍ය පිළිබඳවයි. ඔහු තම හිමියන්ගෙන් සිහින් හඬ්න් ආයාචනා කළ විට (මෙසේ භාග්‍ය පිරිනැමුවේය). (සකරියියා) පැවසුවේය: මාගේ හිමියනි! නියතයෙන්ම මාගේ ඇට කටු දුර්වලවී ඇත, මාගේ හිසද (වයස නිසා) පැසී දිලිසෙයි, මා (මෙතෙක්) ඔබෙන් කළ ප‍්‍රාර්ථනාවන්ගෙන් ආශිර්වාද නොලද්දෙක් නොවෙමි. ඇත්තෙන්ම මගෙන් පසු මගේ නෑදෑයින් පිළිබඳ බියවෙමි. මගේ බිරිඳ වඳවූවාය, එබැවින් ඔබගෙන් මට දරු භාග්‍යක් ලබාදෙනු මැන. මගෙන් උරුමවන්නාවූද, යඃකුබ්ගේ පරපුරෙන් උරුමවන්නාවූද (පුතකු දෙනු මැනව). ඔහු යහපත් පුද්ගලයකු බවට පත්කරනු මැනව.
 ඕ! සකරියියා අපි ඔබට පුතෙකු පිළිබඳ ශුභාරංචිය දෙන්නෙමු. ඔහුගේ නම යහ්යාය.  ඔහුට පෙර මෙනමින් කිසිවකුට නම් නොකෙළෙමු. මාගේ හිමියනි! මට කෙසේ පුතුකු වන්නේද? මාගේ බිරිඳ වඳය. මාද මහලූවියට පැමිණියෙන් දුබල යැයි ඔහු (සකරියියා) කීවේය. එලෙස යැයි (අල්ලාහ්) කීවේය. එය මට පහසු කාර්්‍යකි. ඔබ කිසි දෙයක් නොවියදී මා ඔබ නිර්මාණය කළෙමි. එය මට පහසු යැයි ඔබගේ හිමියන් කීවේය”. (ශු අල්කුර්ආනය 19: 2- 9).
සකරියිය නබි තුමන්ගේ තිරසාර විශ්වාසයට තිළිණයක් වශයෙන් අල්ලාහ් පිරිනැමූ භාග්‍යයයි ඉහත සඳහන් වූයේ. එතුමන්ගේ තිරසාර විශ්වාසය සැමට ආදර්ශයක් විය යුතුයි. එපමණක් නොව අපේ විශ්වාසයද එසේ පවතින විට අල්ලාහ්ගේ අද්විතීය බලය තුළින් ඔහුගේට පිහිටද නොකඩවා අපට හිමිවනු ඇත.
වරක් නබි (සල්) තුමන්, අල්ලාහ් පවසන බව ප‍්‍රකාශ කළහ: “දාසයා මා පිළිබඳ කෙසේ සිතන්නේද එසේම මා ඔහු සමග සිටිමි” (මූලාශය: බුහාරි).
 අල්ලාහ්ගේ අසීමීත ශක්තිය කෙරෙහි කවුරුන් තිරසාර විශ්වාසයකින් පසුවෙයිද ඔහුට එය දැක බලාගැනීමේ අවස්ථාවන් ඔහුගේ ජීවිතය තුළ  අනන්තව ලැබෙනු ඇත.
 මා කළ පාපයන්ට සමාව ලැබෙයිද? මාගේ සිතුම් පැතුම් ඉටුවෙයිද? මට දරු භාග්‍යයක් හිමිවෙයිද? මාගේ ලේඩ රෝග සුව වෙයිද? මාගේ දුක් කරදර පහවෙයිද? මාගේ ජීවිතයට සැනසීමක් ලැබෙයිද? මට ස්වර්ගය හිමිවෙයිද? මේ ආකාරයට යම් සැකයකින් දෙගිඩියාවකින් අල්ලාහ්ගෙන් කෙනෙකු ප‍්‍රාර්ථනා කරන විට ඔහුගේ ප‍්‍රාර්ථනාවන් අල්ලාහ් ඉදිරියේ පිළිගනු ලබන්නේ නැත. කවුරුන් තිරසාර විශ්වාසයකින් යුතුව අල්ලාහ් ඉදිරියේ දෙ අත් ඔසවා ප‍්‍රාර්ථනා කරයිද එම ප‍්‍රාර්ථනාවන් සැබවින්ම ඔහු ඉදිරියේ පිළිගනු ලබන්නේය.
 ශුද්ධවූ අල්කුර්ආනය මගින් අල්ලාහ් මෙසේ අමතයි. “තම ආත්මයටම අසාධාරණ කරගත් දාසයනි! අල්ලාහ්ගේ දයාළු භාවයෙහි අපේක්ෂා භංගත්වයෙන් පසු නොවනු. ඇත්තෙන්ම අල්ලාහ් සියළු පාපයන් සමා කරන්නාය. නියතයෙන්ම ඔහු සමා කරන්නා හා දයාළු වන්තයා වේ” (ශු අල්කුර්ආනය 39: 53).
 නබි (සල්) තුමන් වරක් මෙසේ ප‍්‍රකාශ කළහ: “ඔබලා අතුරින් කිසිවෙකු අල්ලාහ් පිළිබඳ යහපත් ආකල්ප ඇති කරගෙන මිස මිය නොයන්න” (මූලාශ‍්‍රය: මුස්ලිම්).
අල්ලාහ් කෙරෙහි පිවිතුරු විශ්වාසයක් තබමු. ඔහු වෙතට මුළුමනින් හැරෙමු. ඔහු රිසි දේ කිරීමට බලවන්තයාය. ඔහුගෙන් පමණක් ප‍්‍රාර්ථනා කරමු, ඔහු නිරතුරුව දාසයන්ගේ කන්නලව්වට ඇහුම් කන් දෙන්නාය.

0 comments :

Post a Comment